Sunday, April 24, 2016

රෝද තුනක් - හීන ගොඩක්



''සුක්කානම හුරු දෑතට සෙනෙහස අහිමිද ඈගේ'' මේ කාලෙක කලිං ජනප්‍රිය සිංදුවක එක පේළියක්. රියදුරු ජීවිතෙත් හරි අපූරුයි. ඒ අතරින් සංචාරක රියැදුරු ජීවිතේ කියන්නේ වෙනස්ම පැත්තක්.

ශ්‍රී ලංකාව කියන්නේ සංචාරක ආර්ථිකය අතින් ගත්තම ලෝකයේ ප්‍රසිද්ධම බ්‍රෑන්ඩ් එකක්. ශ්‍රී ලංකාව කියන ටුවරිස්ට් බ්‍රෑන්ඩ් එක ගොඩනගන්න මහා පරිමාණයේ සංචාරක සමාගම් වගේම වැල්ලෙ ඉන්න බීච් බෝයිස්ලාත් හවුල් වෙනවා.

සමහර බීච් බෝයිස් ලා ඒඩ්ස් වගේ භයානක ලෙඩ හදාගෙන මැරිල යන අතරෙ සමහර බීච් බෝයිස්ල හෝටල් අයිතිකා‍රයොත් වෙන රටක් බවට ලංකාවත් පත්වෙලා ඉවරයි.

අපි කතාකරන ක්‍රිෂ්ණ මූර්ති බීච් බෝයි කෙනෙක් නෙවෙයි. ක්‍රිෂ්ණ ජීවත් වෙන්නෙ නුවරඑළියෙ. නුවරඑළිය කියන්නෙත් සංචාරක පුරවරයක්. තමන් ඉන්න බිමේ තියෙන අවස්ථා ප්‍රයෝජනයට අරගෙන ඉහළට යන්න හදන දිරිය තරුණයෙක් තමා ක්‍රිෂ්ණ.

අද අපේ රටට එන සංචාරකයො හුඟ දෙනෙක් එතරම් මුදල් වියදම් කරන්නෙ නෑ කියන චෝදනාව අපට නිතරම ඇහෙනවා. සුද්දො අයන් එකේ රොටි පුච්චං කාපු කතාව ඊට හොඳම උදාහරණයක්.

අද වෙද්දි හුඟක් සංචාරකයො ගමන් බිමන් යන්න අඩු වියදම් ප්‍රවාහන මාර්ග හොයනවා. ඒ අතරින් ටුක් ටුක් නැත්නම් ත්‍රී වීල් කියන්නේ ජනප්‍රියම සංචාරක ප්‍රවාහන වාහනයක් වෙලා. ඉතිං ඒ වගේ තත්ත්වයකින් දියුණුව කරා පිය නගන්නෙ කොහොමද කියන එකට හොඳම නිදසුනක් ක්‍රිෂ්ණ. බෑ බෑ කිය කිය ඉන්නවාට වඩා රෝද තුනක් උඩ හීන ගොඩක් ඇත කියල හිතපු ක්‍රිෂ්ණ ශ්‍රී ලංකාවටම ආඩම්බරයක්.

ක්‍රිෂ්ණ මුලින්ම කරේ තමංගෙ ටුක් ටුක් එකේ සුද්දො අදින එක. ඒ කියන්නෙ සංචාරකයින්ට අවශ්‍ය ප්‍රවාහන පහසුකම් සපයන එක. නුවරඑළියට එන සංචාරකයින්ව තමංගෙ ටුක් ටුක් එකේ නග්ගගෙන ක්‍රිෂ්ණ නුවරඑළිය වටේ තියෙන ලස්සන තැන්වලට එක්කං ගියා.

පීආර් එක එහෙමත් නැත්තං මහජන සම්බන්ධතාවය මේ සංචාරක රස්සාවට අත්‍යවශ්‍ය සාධකයක්. ක්‍රිෂ්ණත් හොඳ පීආර් එකක් මේන්ටේන් කරා. ඒ හන්දා එක පාරක් ක්‍රිෂ්ණගෙ ත්‍රීවීල් එකේ ගිය සංචාරකයෙක් ආයෙත් ලංකාවට ආවාම ක්‍රිෂ්ණවම හොයන්න පෙළඹුනා. ක්‍රිෂ්ණට සරු වුනා.

ටුක් ටුක් එකෙන් වෑන් එකට මාරු වුන ක්‍රිෂ්ණ තව වෑන් එකක් ගත්තා. දැන් ක්‍රිෂ්ණ ස්වයං රැකියාලාභියෙක් නෙවෙයි ව්‍යවසායකයෙක්.

''මට ඕනෙ තව රියැදුරන් බිහිකරන්න. ඔවුන්ගෙ පවුල්වලට ආදායම් මාර්ගයක් පාදලා දෙන්න." ක්‍රිෂ්ණ කියනවා.

ක්‍රිෂ්ණ කාලයේ තාලය අඳුරගෙන තියෙනවා. වර්තමානයේ නැතිවම බැරි ඩිජිටල් මාධ්‍ය හරහා හරි අපූරුවට ව්‍යාපාරය වර්ධනය කරන්නට ඔහු කටයුතු කරනවා.

'ට්‍රිප් ඇඩ්වයිසර්' වෙබ් අඩවිය සහ ෆේස් බුක් හරහා ඔහු සංචාරකයින් වෙත ළඟාවෙනවා. අන්තර්ජාලය භාවිතය ඉගෙන ගැනීමෙන් විරැකියාව තුරන් කරන්නට දායකත්වය ලබා ගත හැකි බවට ක්‍රිෂ්ණ හොඳ උදාහරණයක් සපයනවා.

ක්‍රිෂ්ණ ගොඩ නැගූ 'ටුක් ටුක් ඇන්ඩ් ටැක්සි' බ්‍රෑන්ඩ් නේම් එක හෙමින් හෙමින් ඉහළටම යනවා දැකීම අපේ එකම ප්‍රාර්ථනයයි.





2 comments: