Wednesday, March 23, 2016

මලිඳු සුදු බීඩි Vs සිලෝන් ටුබැකෝ

ශ්‍රී ලංකාව ඇතුලෙ කිසිම මත්ද්‍රව්‍යයක් හෝ දුම්වැටි වර්ගයක් ගැන ඇඩ්වර්ටයිසින් කිරීම නීතියෙන් සපුරා තහනම්. ඇඩ්වර්ටයිසින් නැතුව මහාපරිමාණ පාරිභෝගික පිරිසක් ඉලක්ක කරගත්තු සමාගම් වලට පවතින්නම බැරි තරම්. හැබැයි රජයට විශාල වශයෙන් බදුගෙවන සමාගම් අතරෙ ලංකාවෙ එකම අවසරලත් දුම්කොළ නිෂ්පාදන සමාගම වන සිලෝන් ටුබෑකෝ සමාගම ඉදිරියෙන්ම ඉන්නවා. මතුපිටින් බැලූ විට අපට පෙනීයන්නෙ සිලෝන් ටුබෑකෝ සමාගම කිසිම ප්‍රචාරණ කාර්යයක් කරන්නෙ නැති බවයි. ලංකාවෙ එකම අවසරලත් දුම්කොළ නිෂ්පාදකයා වීම නිසා ඔවුන්ට වෙළෙඳපොල තුළ කිසිම තරගකාරීත්වයක් නෑ. 

සෙරෙප්පු නම් බාටා වුනු රටේ මොබයිල් ෆෝන් හැම එකම සෙල්ටෙල් වුන රටේ සිගරට් නම් ටුබෑකෝ වීම පුදුමෙකුත් නෙවෙයි. බාටා වලට වෙන වෙන කුඩා ස්වයං රැකියා ව්‍යවසායන්වලින් අභියෝග එල්ල වුනා කියමුකො. සෙල්ටෙල් ටීගෝ වෙලා එටිසලාට් වුනා කියලත් කියමුකො. ටුබෑකෝ සමාගමේ සිගරට් නිෂ්පාදන වලටත් අභියෝග එල්ලවන පුංචි පුංචි ස්වයං රැකියා මේ රට ඇතුලෙම තියෙනවා. හැබැයි  ටුබෑකෝ සමාගම අලියෙක් නම් මම කියන්න යන සුදු බීඩි නිෂ්පාදකයෝ කූඹි වගෙයි.


සිලෝන් ටුබෑකෝ සමාගමේ නිෂ්පාදනවලට අවශ්‍ය දුම් කොළ ඔවුන් ලබා ගන්නේ මෙරට දුම්කොළ ගොවීන්ගෙන් පමණක් බව කියවෙනවා. ඒ ‍දුම්කොළ ගොවීන්ගේ සුභ සාධනය වෙනුවෙනුත් ටුබැකෝ සමාගම කැපවෙලා වැඩ කරනවා. දුම් කොළ වගාවට අමතරව එම ගොවීන්ගේ ගෙවතුවල එළවළු වගාවන් සිදුකර ගොවීන් සවිබල ගැන්වීමටත් ඔවුන් කටයුතු කරනවා. ඔවුන් මේ හැම දෙයකින්ම කරන්නේ තමන්ට අවශ්‍ය නිසි ප්‍රමිතියේ දුම්කොළ ලබාගන්නට ගොවීන් උනන්දු කරවීමයි කියලයි අපට නං හිතෙන්නෙ. 

ඇයි පොලීසිය සුදුබීඩි නිෂ්පාදන නිතරම වටලන්නේ?

සුදු බීඩි නිෂ්පාදනය දැන් රටේ තහනම් දෙයක්. දුම්කොළ හා මත්ද්‍රව්‍ය පනත සංශෝධනය වෙනවාත් එක්කම මේ තහනම පැමිණියා. තහනමට පෙර මෙරට සුදු බීඩි සන්නාම කිහිපයක්ම තිබුනා. මලිඳු සුදු බීඩි, සීගල් සුදු බීඩි, මාවන් සුදු බීඩි ආදිය ඒවායින් කිහිපයක්.

තහනම ගෙන ආවයින් පස්සේ රජයේ බලධාරීන් කියන්නේ සුදු බීඩි සඳහා යොදාගන්නේ බාල දුම්කොළ වර්ග නිසා ජනතාවගේ සෞඛ්‍යයට ඉන් විශාල හානියක් වන බවයි. නමුත් සුදු බීඩි නිෂ්පාදකයින් පවසන්නේ තම නිෂ්පාදන වලට යොදාගන්නේත් ටුබැකෝ සමාගම යොදාගන්නා දුම්කොළම බවයි. සුදු බීඩි කර්මාන්තය වඩාත් ප්‍රචලිතව පැවතියේ වරකාපොළ සහ රත්නපුර ප්‍රදේශවලයි. සුදු බීඩි නිෂ්පාදනය කරපු ස්වයං රැකියා නියුක්තිකයින්ගේ අදහස නම් තම නිෂ්පාදන ඉතාම අඩු මිලට අලෙවි වීම ටුබැකෝ සමාගමේ වෙළෙඳාමට තර්ජනයක් නිසා ඊට ටුබැකෝ සමාගම අකමැති බවයි.




 අධිකරණ තීන්දුව

දුම්කොළ බදු පනතේ 24 වන වගන්තියේ දැක්වෙන ආකාරයට බීඩි කියන්නේ ස්වාභාවික කොළයකින් ආවරණය කර සාදන නිෂ්පාදනයක්. සුදු බීඩි හදන්නේ සුදු පැහැති කොළයක ඔතල සිගරට් එකක් විදියටයි. මෙය බීඩියක් ලෙස හඳුන්වා දෙන්නට බැරි අන්න ඒ හේතුව නිසා බවයි රජයේ සුරා  බදු අංශය පවසන්නේ. ඔවුන් මෙය හඳුන්වා දෙන්නේ සිගරට්වලට ආදේශකයක් හැටියටයි. කලක පටන් ගෘහ කර්මාන්තයක් ලෙස පැවතියත් මෙය නීත්‍යානුකූල නැති බව ඔවුන් පවසනවා. මෙය කර්මාන්තයක් ලෙස කරගෙන යනවා නම් ඒ සඳහා බලපත්‍ර ගත යුතුයි. ඒ සඳහා විශාල බදු මුදලක් පවා ගෙවිය යුතුයි. ශ්‍රේෂ්ඨාධිකරණයේ පැවැත්වූ නඩුවකින් පවා තීරණය කර ඇත්තේ මෙය සිගරට් වලට ආදේශකයක් කියායි.

කොයි දුම් කොළෙත් මිනිස් ශරීරයට නරකයි. හැබැයි ගෘහ කර්මාන්තයක් ලෙස පැවැති සුදු බීඩි තහනම නිසා දහස් ගණනකගේ රැකියා අහිමි වෙද්දි දැවැන්ත ටුබෑකෝ සමාගම තවත් වැඩියෙන් රජයට බදු ගෙවනවා.

ගරිල්ලා ඇඩ්වර්ටයිසින්

ඔය බිග් මැච් කාලෙට පිට්ටනි අයින්වල එකම පාටින් කොට සායවල් කලිසම් ඇඳගත්තු කෙල්ලො බියර් බිබී ඩාන්ස් කරනවා අපි දැකල තියෙනවානෙ. එහෙම එකක් වුන ගමන්ම පහුවෙනිදට මීඩියා වල යනව නේද මේව තරුණ පරපුර මතට ඇදල ගන්න ඒ කොම්පැණිම කරන වැඩ කියල. බියර් කොම්පැණි බිග් මැච්වලට අනුග්‍රහය දෙනව කියලත් කියනවනෙ. 

එතකොට දැකල තියෙනවද හිටි හැටියෙ නගරවල තාප්පවල ගහල තියෙනවා පෝස්ටර් 'සිගරට් බිව්වම ගඳයි' කියල. පත්තරවල හිටි හැටියෙ යන්නෙ ලිපි 'නීති විරෝධී සිගරට් තොග අල්ලයි', 'නීති විරෝධී සුදු බීඩි අලෙවි කළ වෙළෙඳ සැල් වටලයි' කියල. සිගරට් ගැන කිසිම ඇඩ්වර්ටයිසින් පාට් එකක් තහනම් වුන රටක ඔය වගේ දේවල් වලිනුත් මිනිස්සුන්ට සෑහෙන පෙළඹීමක් ලැබෙනවා මටත් සිගරට් එකක් ගහන්න ඕනෙ කියල. 

ඉහතින් කිව්ව ජාතියෙ පුවත් පත් ලිපි එකම විදියට පත්තර කිහිපයකම පළ වෙනවා. එකම මාධ්‍ය වේදියා පත්තර දෙක තුනක වැඩ කරන්නෙ නැහැනෙ.  


මොකක් හරි අවුලක් තියෙනවා වගේ නේද? 



 




10 comments:

  1. බ්ලොගර් ෆලෝවරය දාහං , මොකටද බං තව එකක් ඇටෙව්වේ

    ReplyDelete
    Replies
    1. මේකෙ ලියන්නෙ බ්‍රෑන්ඩ්ස් ගැන අටං

      Delete
  2. සුදු බිඩී ගැන අදයි ඇහුවේ....
    රසේ වෙනසක් තියේද?

    ReplyDelete
    Replies
    1. අත්හදා බලල නෑ රූපේ. රූපෙං නං සුදු පාටයිලු

      Delete
  3. ලංකාවෙ නැති උණාට ඉන්දියාාවේ බීඩි කින්නේ ජනප්‍රියම දුම්වැටියකි. කැම්පස් යන ළමයි බොන්නෙම බීඩි. බීඩි සේවකයන්ගේ ළමයි වෙනුවෙන්ම දෙන ස්කොලර්ෂිපුත් තියෙනවා.

    ReplyDelete
    Replies
    1. බීඩි ලංකාවෙ තහනම් නෑ - සුදු බීඩි විතරයි තහනම්

      Delete
  4. දැන් සිගරට් ගනන් හින්දා ගොඩක් උන් බොන්නේ බිඩි තමයි.

    ReplyDelete
  5. බීඩිවලට නැගිටින්න චාන්ස් දෙන්නෙම නෑ. බීඩි සිගරට්වලට වඩා බාල බඩුවක් කියන එක ප්‍රමෝට් කරන්නෙ සිගරට් කොම්පැණි තමයි!

    ReplyDelete
  6. බීඩි නිෂ්පාදනය කරන අය කොහෙද ඉන්නේ

    ReplyDelete